Monday, December 31, 2012

සිහළුන් සියළු වෙයි දරු ලක් මව උරුම..,


රජ සිටු මහා මැතිවරු ඔද තෙද බලැතී
පෙර ඇත පැවත සිහලුන් සුරකින්න බැඳී
දෙස රැස බසට නිසි උරුමය තිබුනි රැඳී
පෙර ලක් මවුන් ඇත පින් කර අදට වැඩී

පැවතෙයි අතීතයෙ සිට ලක් දෙරණ මත
බුදුදම හින්දු කිතු බැති ඉස්ලාම් දම
දෑ ගොත් භේද නැත බිහිවන විට ලොවට
සිහළුන් සියළු වෙයි දරු ලක් මව උරුම

සැම දන එකට එකතුව එක ධජය යට
සිටිනට හැකි දිනක සබැඳිව එක්ව නැග
එඩියෙන් නැගෙනු ඇත අපෙ මවුබිම පෙරට
එදිනට යටයි සත් සිඳු ලක්මවු නමට







2005 නොවැම්බරයේ දිනයක..,

පාළු ගෙවල් වල බිඳෙන, අළුත්ම වලං...


නිදහසක්....,
නොතිබුනා...මතුවටත් නොතිබේවි.....,

නෙරපුවම,
සොඳුරුකම්,
සබඳකම්,
සංයතය සපුරාම....,

නිවටයන්,
කපටියන්,
තක්කඩින්,
එකතු වුනු....,

අමූලික කෙප්ප,
පට්ටපල් ගජ බින්න,

පාළු ගෙවල් වල බිඳෙන,
අළුත්ම වලං...

වර්ථමානය කිරිබත්,
අනාගතය ඇල් වතුර,

යන එන මං නැතිවුනු,
බඩදරු අම්ම ගැන දුකයි....!





2009.10.11

ජාතික සවිය වඩනට කළ යුතු යුතුකම්


මවු පදවිය නමින් පැතුමක් හදෙහි                  හොවා
සිටියෙමි සත් දෙනෙකු දරුවන් කුසෙහි             රුවා
නොතකා කුරිරු දුක් අතොරව ගත                   දවනා
බිහිවන තුරා සිටියෙමි දරු පෙම                      වඩවා

දෙපා සතුන් දරුවන් බිහි කරන                         නියා
නොලදිමි සායනික උපදේශන                        සේවා
බිහි වූ දරු කැළම සතුටින් සැපෙන්                    තියා
ගත ලේ කිරි කලෙමි උන් හැම සවිය                 පතා

එක්දරු ප්‍රතිපත්ති, රත්‍රන් පුංචි                          පවුල්
ගැන නොසිතුවෙමි කිසි විටෙකත් මවක       ලෙසින්
ජාතික සවිය වඩනට කළ යුතු යුතු                     කම්
කරනට නොපසුබට විය යුතු සියළු                  මවුන්


Tuesday, December 25, 2012

Fictional Writings - 2012.09.23.


ඇයට මා ප්‍රේමය මවා පෙන්වන විට, ඇය මා වෙනුවෙන් නිමග්න වූ ප්‍රේමයක වෙලී උන්නාය. මා වෙතින් ගැඹුරින් ප්‍රේමය විනිවිදින්නට තැත් දැරුවාය. ඇගේ ප්‍රේමයේ ආනන්දය මා වෙත පුදන්නට වූ රිසියෙන් ඇය මගේ පුරුෂාර්ථයේ නිම් වළළු පිරික්සමින් සිටි බව වටහාගන්නට තරම් වත් මගේ ප්‍රේමය නිර්ව්‍යාජ එකක් නොවූවා පමනක් නොව මගේ ධාරිතාවය ඇගේ ප්‍රේමයේ උත්කර්ෂයන් සංස්පර්ෂණය කරන්නට තරම් තාත්වික වූවක්ද නොවීය.මට අවැසි වූයේ යසසය, ඇයට අවැසි වූයේ ප්‍රේමයම පමණකි.මේ සියල්ලෙහි ප්‍රතිඵලය ලෙස, මගේ ඇරයුමින් මා වෙත සිය ප්‍රේමයේ මාවත විවර කරන්නට සැරසෙන නිමේෂයෙදීම, යසසට විවර වූ දෙනෙතකින් අවදිව සිටි මා වෙත ආ ඉසුරින් ආඩ්‍ය වූ යෞවනියකගේ සියත මත හදවතේ බර සැහැල්ලු වන්නට ඉඩ හළෙමි. 

Sudarshana Deshapriya - Fictional Writings - 2012.09.23.

අපරාජිත පරාජිතයෝ....,


ආදරයෙන් පරාජය වූ මිනිසුන්, රැවටීමට හෝ භාවිතයට ලක් වූ මිනිසුන්,මේ සමාජ පීඨිකාව මත කිසි දිනකත්, කවර අයුරෙකින් වත් පරාජිතයෝ නොවෙත්. ඔවුන් මේ පොලොව මත සිටින දිරිමත්ම මිනිසුන්ය. මා එසේ කියන්නේ, තමා පරාජය වෙත්දී, රැවටීමට ලක් වෙත්දී, ස්වකීය ප්‍රේමයට පාත්‍ර වූ මිනිසුන් දිනනා අයුරු, ආදරයේ උත්කර්ෂයන් වෙත සමීප වන අයුරු, සියසින් දැක සතුටින් විඳින්නට තරම් දිරියක් ඔවුන්ගේ සිත් තුළ නොඅඩුව ගැබ්ව පැවතීම ඒ තරමටම වටිනා නිසාය. තමන්ට සිදුවන දැනෙන අහිමිවීමකින් පසුව වුවද, නොබියව ප්‍රේමයේ අවිද්‍යාත්මක පසුතලය විනිවිදිමින්, තමන්ට  විඳින්නට සිදුවන සියලු ගැහැට ද නොතකා, සිය ජීවිතය ඉදිරියට ප්‍රක්ෂිප්ත කරවීමේ අභියෝගයට මුහුන දෙන ඔවුන්, එතුලින් පෙන්වන නව  ලොවක් තනන්නට, ප්‍රේමයේ නව මානයන් තනන්නට වන අපේක්ෂාව අත් නොහරින දිරිය පිළිබඳ ආදර්ශයෙන් අපරව, ඔවුන් මේ ස්වභාවික ලෝකයේ යහපත්ම මිනිසුන් කොටසක් බවට ස්වකීය අද්‍යාත්මයන් විසින්ම ඔවුන්ට පසක් කර දෙනු ලැබෙයි.

will be continued....!

මිනිසුන්ට තනිව විසඳුම් අපේක්ෂා නොකළ හැකි අනර්ථයන්, ස්වභාව ධර්මයේ අසම්මත ඉඟියක් දැයි කුකුසක්.

මිනිසුන්ට තනිව විසඳුම් අපේක්ෂා නොකළ හැකි අනර්ථයන් සමාජ ක්‍රමය තුලින් මතුවේ. විවිධ සමාජ ක්‍රියාකාරීත්වයන් හමුවේ පීඩාවට පත්වන කොට්ටාශයක් සෑම සමාජයක් තුලින්ම නිරායාසව හමුවීම යන කරුණ, මුල් බැල්මට කැලෑ නීතිය සමාජගත වීමක් ලෙස වර නැගීමට කෙනෙකු දිරිමත් කරනු ඇතිමුත්, ඉන් ඔබ්බට මෙහෙයවෙන සිතිවිල්ලක් ලෙස හඟිනුයේ, නූතන සමාජ ආකෘතීන් තුලින් නිවැරැද්ද ට සමානුපාතිකව වැරැද්ද ට ද  ක්‍රියාවට නැංවීමට අබාධව හා ස්වයංව ලැබී ඇති අවකාශයයි. මෙවැනි කරුණු ( මිනිසුන්ට තනිව විසඳුම් අපේක්ෂා නොකළ හැකි අනර්ථයන් ) සිද්ධිමය වශයෙන් කලාව, සංස්කෘතිය, සභ්‍යත්වය වැනි පොදුජන විඥානයට අතිශය සමීප පදනම් වල පිහිටා මාධ්‍යයන් මගින් (නව කතාව, කෙටි කතාව, දිනපතා පුවත් වැනි ) සමාජ ඇස නැතහොත් සාමාන්‍ය ජන ජීවිතය  වෙත උලුප්පා දැක්වීමෙන් දැනෙන  සංවේදනයක් නිර්මානය කළ හැකි වුවද, සමාජ ක්‍රමයේ ආරම්භයේ මුල් විහිද ඇති ඉසවුවේ පටන්ම මෙකී අනර්ථයන් අනවරතව සමාජ ක්‍රමය විනිවිදිමින් විකාශනය වී ඇති අයුරු මෙන්ම නීතිය හෝ සමාජ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින කුමන බලවේගයකට හෝ වේවා, මෙකී අනර්ථයන් ගෙන් ව්‍යුක්ත පරිසරයක සමාජ තුලනයක් ඇති කිරීමට මෙතුවක් හිමි නොවී ඇති අවකාශය කොතරම් තීව්‍රද යත්, මෙය මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම බලපවත්වන පරිද්දෙන් ස්වභාව ධර්මය සිය අනියත බලපරාක්‍රමය පිළිබඳ අසම්මත ඉඟියක් පල කරන ලද අවස්ථාවක් දැයි කුකුසක් විටෙක මතු වේ.


දසන් නොම පෑ මදහස


සොරාගෙන
මගෙ කවිකම,
සිත පුරා දඟ කරපු දුව පැන

ජීවිතේ
ආමග දිග,
හසරක් නොවූ කඳුලැලි ගඟ සිඳ

දසන්
නොමපෑ මදහස
ඇතුන් බිම ලන සවිය දී මට

ලියන්නට
කවි නුඹ ගැන
හිත කියනවා ආයෙම

හෙටත්
දවසක ඉර ඇහැරෙන
කවියක් ලියනවා මම තව නුඹ ගැන....!



නිහඬියාව


හසරැල්ල
සුලඟට මුසුවුනා....

ඈත දුර නික්මී....

මුවග
හෙමිහිට වියලුනා...

වදන් වැල ගොලුවී....

මා නොවේ...
නුඹයි.....

නොව,

අපේ ප්‍රේමයයි.....
නිහඬවූයේ.....!




2012.08.16

"ස්වභාව ධර්මයේ යථා ස්වභාවය වෙනස් කිරීමේ මාවත"


ස්වභාව ධර්මය විසින්, සැම විටම උචිතයන් උන්නතියට පත් කරවයි...මක් නිසාද යත් උචිතයන් උන්නතියට පත් වන ඉසවුවක, සොබා දම් නියතීන් සුරක්ෂා වන බැවිනි.

පෘතග්ජන ලෝකය සෑම කල්හිම, පවත්නා ස්වභාවය වෙනසක් කරා යොමු කරවීමේ රිසියෙන් පසුවන්නේ, මිනිසා සිය බුද්ධිමය නිර්මානයක ඵලයක් ලෙස, සොබා දහම නිර්මානය කරන්නට අසමත් වීම මගින් නිරන්තරයෙන් පෙළනා ලද හෙයිනි.

වෙනසක් සොයන මිනිසුන් සෑම විටම, පවතින තත්වය වඩා යහපත් තත්වයක් වෙත ඔසවා තැබීම පිළිබඳ, සිය චින්තනයත්, එයට අනුරූපව භෞතික චර්යාවත්, මෙහෙයවීමට අසමත් වන්නේ, ඔහු ස්වකීය නොහැකියාවන් පිළිබඳ දක්වන සන්වේදීතාවයෙහි ප්‍රතිපලයක් ලෙසටයැයි හඟිමි.

මෙකී පවතින තත්වය වඩාත් යහපත් තලයක් වෙත ඔසවා තැබීමේ මෙම ක්‍රියාවලිය, එක් අතකින් උචිතයන් උන්නතිය වෙත කැඳවීමෙ, සොබා දම් න්‍යාය හා සමරූපී වන්නකි.

මිනිසාද ස්වභාව ධර්මයේ මාත්‍රාවටම නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් වී නම්, ස්වභාවධර්මයේ අනන්ත නිර්මානශීලිත්වයට අනුගත වන්නට සිය හ්ර්‍ද සාක්ෂියෙන් යම් හෝ ඉඩක් හිමි වන්නට තිබුනි.

නමුත් එවැන්නක් සිදුවීම වෙනුවට, සිය ජන්මගත නොහැකියාවන් මෙන්ම, තවදුරටත් පටු ආත්මාර්ථය වැනි ස්වාර්තකාමී හැඟීම් විසින්ද මිනිසා මෙහෙයවීම මගින් ලක් කරන ලද චින්තන ඔද්දල්භාවය ඔස්සේ, සිය නොහැකියාවන් සඟවා, උන්නතිය තහවුරු කරගන්නට "ස්වභාව දර්මයේ යථා ස්වභාවය වෙනස් කිරීමේ මාවත" තෝරා ගැනීම වඩාත් පහසු විකල්පයක් ලෙස මතුපිට පෙනීමට ලක්ව ඇත.

සැබැවින්ම මෙම තෝරා ගැනීම ("ස්වභාව දර්මයේ යථා ස්වභාවය වෙනස් කිරීමේ මාවත") අගනා එකකි. මක් නිසාද යත් එවන් තෝරා ගැනීමකින් පසුව, සිදුවන ක්‍රියාවලියට අදාල සිද්ධි, වෙන් වෙන් වශයෙන් ගෙන කරන අධ්‍යනයකින් පසුව වුවද මෙවැනි මාවතක් තෝර ගැනීමේ වරදක් ඇති බවක් එක් වනම මානව බුද්ධියට විෂය නොවන බැවිනි.

එබැවින් මිනිසුන් ස්වභාව ධර්මය වෙනස් කරති, වික්ර්‍ති කරති. සිය ඕනෑ එපාකම් පිරිමසා ගන්නට ඇති වනක් තරමින්, සොබා දම් නියතීන්ට අභියෝග කරති.

මේ අභියෝග කිරීම ශුද්ධ විද්‍යාව හා සමාජ විද්‍යාව යන දෙක් හිම, ඊට අදාල හැදෑරීම් සමග විටෙක ඉතා සියුම්වත්, විටෙක මතුපිට තලයෙහිදීමත් හඳුනා ගතහැකි වන අයුරින් මුසුව ඇත.

එබැවින් තත් කාලීන ආර්තික, දේශපාලනික, සංස්කෘතික සමාජ යථාර්තයන් තුළ අත් දැකිය හැකි, ස්වභාව ධර්මය වෙනස් කොට එයට අභියෝග කිරීමට රුකුල් සපයන, මානව උත්තේජයන් යටපත් කොට සොභා දම් නියතීන් විශ්වීය වශයෙන් තිරසර කරවන්නට කැප වූ ගෝලීය මානව හැසිරීමකට කාලය, එළඹ ඇත....!



ගම්මානෙ රිවි කිරණ...,


ගම්මානෙ රිවි කිරණ,
තුරු පෙරා...මතට මිහි වැද...,
එකළු කල ජීවයම,
සමව ගෙන නගරයට....

සහස් මල් - ඵලද බර,
අරුම මනරම් කුසුම්..,
සුපිපුනා... සුදිලුනා...,
අරුණු තල වැදි විගස..,

අරුමය, ගැමි සුවඳ වෑහෙනා...,
නාගරික පුෂ්පය..,
හිරු කිරණ සරින් වුව,
නොලැබ දිරි සුපිපෙන්න...!



මගෙ හිතත්, නුඹ ගෙන හොරා....!


කවි පොතක් වුව,
රිසි ලියන්නට.....

සිත මගේ,
සවිමත් එදා....,

ගැටුනු නුඹ සිත,
සමග නිරතුරු,

තාලයක් ගලපනු නියා.....

අද මගේ...,
කවි පොතේ හිස් පිටු,

කවි යදියි..,
මා දෙස බලා....

එකම කවියක්,
ලියන්නට මට..,

මගෙ හිතත්,
නුඹ ගෙන හොරා....!



නබෝ ගැබ නුඹ කොළඹ....,


නිති අසිරි සිරි මැවූ...,
නබෝ ගැබ නුඹ කොළඹ,
කිමද මේ හැටි රුදුව..,
අද නගන හඬ වියරු..,
බිහිරි කරවයි සවන....

දෙනෙත සිත මත් කළා..,
නුඹ එදා හිනැහුනා...
කිරණ මදහස විදා....
නුහුරු දිය මා තෙමා..,
සැඩව නැගියුරු ගුගුරා....
මා දෙසිත ගොලු කලා....

සිතයි මට,
වසා ගනු රිසියි මට..,
දෙනෙත මා...,
නුඹ සිනහ නගන තුරු....!



සිඳු ඉවුර දිගුවැලිය - 2010.01.28


දකුණු දිග
නිළඹරේ.....

සියොත් කවි
නින්නාද,

වලානිල්
කොමලියගෙ,

මන් පිනන
මදහාස,

සිඳු ඉවුර
දිගුවැලිය,

මින් රලක්
දඟපාන,

ඔරු කඳක්
ඇත තනිව,

හබල
සොයමින් දියඹ.....!





2010.01.28

අහිංසකයාගේ ප්‍රේමය...!


හිතේ සොඳුරු බව,
තව පිරුනාවේ...,

භාවනාවේ....,
අරුමයෙන් ප්‍රේමයේ.....

නොහැක මට නිදි විඳගන්න...,

ඔබේ...,
හැම වදනක්ම,

සවනතට පිවිසේ සිවුදිගින්,

ඔබත් දනීනම්,
අහිංසකයාගේ ප්‍රේමය...!





දුක් වැස්ස


දුක් වැස්ස
හැළුවාට,
අඳුරු ගෙන සැඩ අහස_

වැහි බිංදු
වැටුනාට,
පෙති විසිර යන ලෙසට_

විසිරුණත්
පෙති කුසුම්,
නොවැටි නටුවෙන් බිමට_

බීරමට
අඳුරු වුනෙ,
පෙර තිබුනු නිල් අහස_

බටිත්තන්
බිය නොවුනෙ,
අහසෙ රඟ හැඳිනගෙන...!



2009.08.12

සතුටෙහිත් ඇත වේදනාවක්....!


ලොවේ අස්තිර බවක් නොවිනම්,
නොපවතී,
ස්තිරය යන්නක්.....

කඳුළු පමණක්,
නොමැත්තේමැයි,
සතුටු කැළුමන්,ගැබ්ව ඇත එහි,

සනාතන
පෙම් කවි ලියන්නට,
හිතක් ඇත්නම්,
හදක් වේ නම්,

කඳුළු කුමටද සඟවගන්නේ...,
සතුටෙහිත් ඇත වේදනාවක්....!



නුඹේ ඔය මදහාස, මගේ සිත සනසවයි.....!


මල්
කිනිති සනහාන,
පිනි
වැටුනු බව සැබැයි.....

රිවි
අරුණු කිරණ වැද,
මහීමවු
සැනසුනයි.....

සියොත්
ගැයු නෙක ගීත,
බිඟු
ගුමුව කැළඹුවයි.....

නුඹේ
ඔය මදහාස,
මගේ
සිත සනසවයි.....!





තාරුකාවිය...


තාරුකාවිය...
සුව වන්දනාවේ.....
උර තලයෙ,
ඔබ සතපවන්නෙමී.....

ප්‍රේමයේ....,
මෙත් දෙවඟනන්ගෙන්.....
සුර කුසුම්
මල් රොන් යදින්නෙමි.....

සිතේ සුපහන්
දිවි හැඟුම් කවි,
සිතුවමින්...,
හද කිති කවන්නෙමි....

නුඹේ සිත මත....,
දහස් වස්
සහසක් වසන්නට...
පින් පුරන්නෙමි.....!

කටු ගෑ කවියක්....


කඳුළු වල,
සැබෑ බර දන්නේ....

කඳුළු වල,
රසට හුරු වුනු.....

සිනහවෙන්,
කල් ගෙවන මිනිස්සු.....!

කොළඹ විශ්ව විද්‍යාලය - කිත්‍යාකර නේවාසිකාගාරය
30 කාමරය - 2009.10.04

අභාවිත මාවත


මැදිරි ගෙන ඇදෙන නිසි,
රේල්ලුව මතින් රිය...

නොමැති මුත් බිහිව වල්,
බලන් ඇති සැටි බිහිව...

නියම මග අසබඩම...,
අභාවිත මාවතේ......

නේක ඝන වන පියලි,
නොයා හැකි මත පීලි,
කැටුව දුම්රිය මැදිරි...,

සොභ දහමෙහි පුවත,
බලන් ඇසි දිසි සබඳ....!

ලෞකිකත්වය


මේ මුහුදු රැල්ලත්, 
ආශාවන්හි ගැලුනු, 
ලෞකික දිවිය හා සමයි....,

එහි ඇලී ගැලීම,
හිතට ආශ්වාදය 
උපදවන්නට සමත් නමුත්, 

සීමාව ඉක්මවූ තැන්හි, 
"ලෞකිකත්වය"
ඔබව මං මුලා කරවන්නට,
සමත් වන්නේ යම් සේද, 

ඔබ මේ මහා සාගරයේ යම් තැනෙක,
සැඟව ගන්නට හැකි පියවි දෑසට, 
නොපෙනෙන අන්තරායක් එහි ගැබ්ව තිබෙනව....!



මතකයේ උඩුකුරු තෙරපුම


මතකයන්......,
ගුලිකලා....
විසිකලා....
නොදැන ඔබ,

නගින රළ...,
සිත් වෙරළ...,
සැනෙකින්ම සොයන වග.....

ගලක බර,
ගැනද නුඹ....
නොවෙද යුතු, සහතික....,

සඟවන්න,
සයුරු ගැබ....

සමත් වෙද,
ගලෙහි බර....

උඩුකුරුව තෙරපෙනා...,
මතකයේ ඝනත්වය...!







හදවතක අරාජිකත්වය


මෘදු සිතැත්තියේ....
සකල ලෝකයේ
සියළු සුන්දර වස්තූන්,
සාපේක්ෂ වූ මට....

නුඹම පමණක්
නිරපේක්ෂ වූ වග....,

ප්‍රේමයෙන් ව්‍යුක්ත වූ කල,
අරුත නොහැඟෙයි ජීවයෙහි පවා....

අනම්‍ය ප්‍රතිචාරයෙන්
කම්පිත වූ චින්තනය....
අරාජිකත්වයේ ශෝකයෙන්
බිහිවුනු හදවතේ රික්තය,

වියලි බොල් සුසුමින්
කිසිදා සුවපත් නොවනු ඇත...,

මසිත අවතැන් කල නුඹ....!

ලෝකුරුවෝ....,


යකඩ තැලිලා,
හැදෙන්නේ......

කඩු
මිටි
කිනිසි,

උඹලා.....
ලෝකුරුවො බව

උඹලවත් දන්නෙ නෑ......!


අතීතය, වර්තමානය


අතීතය හමුවිය නොබෝ දිනයක.....
දුටිමි, පෙර නොවූ නිරහංකාර වුවනක්....
කාලයෙන් නුඹ ලද අවබෝධයේ පන්නරය,
එකල...., නුඹ ලබා සිටියා නම්.....
කෙතරම් සොඳුරු වන්නට,
තිබුණිද වර්තමානය.....?
වරදකාරී දෑසින් අයා නෙතු,
නොබලන් වර්තමානය දෙස....!



පරමාදර්ශී ප්‍රේමයේ පැහැය...,


ස්ත්‍රී විෂයෙහි අකම්පිත සිත...., විසුල...
මා පණ ගැහෙන මනුෂ්‍යකු කරන්නට හැකි වූ....
නුඹේ ඇස් දෘෂ්ඨියෙහි මහිමය....
දිවි ගිම්හානය කෙළවර,
යෞවන වසන්තයට.....
නුඹ හදවතින් මුසු කළ,
සොඳුරු මන්දස්මිතය....
පරමාදර්ශී ප්‍රේමයේ පැහැය....
දිවි සිතුවමෙහි තෙලිතුඩින් ගෙන,
සිත්තම් කරන්නට, ජීවිතය සොඳුරු ලෙස....
නුඹට සිත් පහළ වන දිනය,
දැක මියැදුනත් කම් නැත.....!!


ලෝකයක් ඇති, නුඹ නමින් හෙට....,


පෙර උපන් පෙම
දිවිය දැවු කල...

ප්‍රේමයේ අග..
වෛරයේ නම
නොලියූ නුඹ....

වැඩූ මෙත් සිත,
තව තනාපන්...
ලෝකයක් ඇති,
නුඹ නමින් හෙට....

කවි නමින්
කළ හැකිය ශෝකය....
නොකළ හැක
කවි සිතින් ප්‍රේමය....

විඳින මිනිසුන් දැක ලබාපන්....,
නිරාමිස සුව ප්‍රේමයේ නුඹ.....!!!