ලාංකීය දේශපාලන ක්‍රමය සහ විශේෂයෙන්ම එහි අනාගතය පිළිබඳ එක් පැතිකඩක් මුහුණ පා ඇති අර්බූධයේ සරල යථාර්ථය මතු කෙරෙන කරුණු පෙළගැස්වීමක ප්‍රථිපලයකි මතු ඔබ කියවන ලියමන.
1931 වරෂයේ ඩොනමෝර් කොමිසම ශ්‍රී ලාංකිකයන් වෙත "සර්ව ජන ඡන්ද හිමිකම" ප්‍රදානය කරන්නට සූදානම් වන මොහොතේදී, එවකට ලාංකීය වාමාංශික ව්‍යාපරයට නායකත්වය දුන් ඒ.ඊ.ගුණසිංහ වැනි ජනතාවදී නායකයන් සර්ව ජන ඡන්ද අයිතියෙහි පවත්නා ජාතික වැදගත්කම, මහජන වරප්‍රසාදයක් ලෙස මෙන්ම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ගන්නා මූලික ප්‍රයත්නයක සමාරම්භයක් ලෙස අවධාරණය කරද්දී, එවකට ජාතික දේශපාලනයේ නියුතුව සිටි කොම්ප්‍රදෝරු ධනේශ්වර පාන්තික ඇතැම් දේශපාලකයන් "සර්ව ජන ඡන්ද බලය" හැඳින්වූයේ "රස්තියාදුකාරයන් බලයට පත් කිරීමට රස්තියාදුකාරයන්ට බලය ලබා දීමක් ලෙසයි", තවත් ලංකා දේශපාලනයේ පසුව මෙරට අගමැති වරයකු බවටද පත්වූ දේශපාලකයකු දැක්වූයේ, සර්ව ජන ඡන්ද බලය "බැඳ සිටින බල්ලන් ලිහා දැමීමක් ලෙසයි".
මෙකී ප්‍රකාශයන් මගින් ඔවුන් විසින් පළ කරන්නට යෙදුනු සර්ව ජන ඡන්ද බලය පිළිබඳ කරුණට වන විරෝධයෙහි පසුබිම, අන් කවරක් වත් නොව 1912 වර්ෂයේදී කෲව් මැකලම් ප්‍රථිසංස්කරණය හරහා හඳුන්වා දී තිබූ සීමිත ඡන්ද හිමිකම රටෙහි මුළු ජනගහණයෙන් 4% ටත් වඩා අඩු පිරිසක් පමණක් හිමිකම් ලැබූ, හුදු ධනපති පාන්තික වරප්‍රසාදයක් බවට පත්ව තිබීමත්, එම තත්වය වෙනුවට සර්ව ජන ඡන්ද හිමිකම හඳුන්වා දීම තුළින් සිදු වීමට අපේක්ෂිතව තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ නිම් වළළු පුළුල් වීම ඉවසා සිටින්නට එම දේශපාලකයන්ට මුල් අවස්ථාවේ පටන්ම පැවති නොකැමැත්තයි. එනම් ඒ තුළින් සමාජ ක්‍රමයේ ඇති වීමට අපේක්ෂිතව පැවති ප්‍රතිජනනාත්මක සමාජ සංවර්ධනය පිළිබඳ හැඟීම් මාත්‍රයක් හෝ නොමැතිව මෙන්ම ජනතාවාදී දේශපාලන ක්‍රමයක් දක්වා මෙරට දේශපාලන ක්‍රමයේ සිදු වීමට නියමිතව තිබූ වෙනස නොඉවසූ පිරිසක් ලෙසය එදා ඔවුන් හැසිරුණේ.
වත්මන් පාලනය තුළ දිනෙන් දින වර්ධනය වෙමින් පෝෂණය කළ ප්‍රවණතාවය වූයේ පවුල් සහ පරම්පරා දේශපාලනයයි. රටක දේශපාලන සංස්කෘතියේ වර්ධනය උදෙසා පාරම්පරික දේශපාලනය මගින් සපයන ලද දායකත්වය මෙහිලා, අප විසින් අදානග්‍රාහී ලෙස ප්‍රතික්ෂේප කරනු නොලබන නමුත්, පවතින රජය පාලනය පටන් ගත් දා පටන්ම පවුල් විහරණයට පරම වැදගත්කමක් ලබා දුන් ආකාරය පිළිබඳ ඕනෑ තරම් උදාහරණ වලට ජන සමාජය සාක්ෂි දරන තත්වය තුළ, මෙකී පවුල් දෙශපාලනයේ තර වීම දිනෙන් දිනම කොතරම් ඉහ වහා ගියේද යත්, මුලින් නායකයාගේ පවුලෙන් පටන් ගත් පවුල් විහරණය, ප්‍රාදේශීය මට්ටමේ කෙළවරෙහි සිටින ජනතා නියෝජිතයා දක්වා වසංගතයක් මෙන් වර්ධනය විය.
වත්මන් පාලනයේ පවුල් විහරණය ඉලක්ක කරගත් දේශපාලන ප්‍රවණතාවය සමග පෙරකී, 1931 වර්ෂ්යේ "සර්ව ජන ඡන්ද හිමිකම" ජනතාව වෙත හිමිකර දීමට එදිරිවාදී අදහස් පළ කරමින් හුදු පන්තික විහරනයන්ගේ මානයෙන් පමණක් සමස්ථ ජාතික දේශපාලන ක්‍රමයම ලඝු කිරීමට උත්සාහ ගත් දේශපාලන ප්‍රවනතාවය යන දෙකම මගින් ලාංකීය පොදු මහජනතාව සදාකලික පීඩිතයන් ලෙස පවත්වා ගැනීම සහ සුභසාධනවාදයේ වර්ධනය දුර්වල කොට ජන ජීවිතය වෙත මහජන නියෝජනයේ ප්‍රතිලාභ ගලා ඒම දුර්වල කිරීමට කරන ලද බලපෑම බොහෝ දුරට ආසන්න වශයෙන් සමානය.
මන්ද යත්, 1931 දී "තව දුරටත් සීමිත ඡන්ද බලය" න්මැති පැහැදිලි ඉර ගසා මහජනතාව දේශපාලනයෙන් ඈත් කොට තැබීමට ගනු ලැබූ ධනෙශ්වරවාදී ප්‍රයත්නය මෙන්ම, 2005 න් පසුව පවුල් විහරණය ඉලක්ක කර ගනිමින් ලංකාවේ සතර දිග්භාගයේම ඇමති මන්ත්‍රී දුවා දරුවන් මහජනතාවගේ ඡන්දය මංකොල්ල කා ගැනීම පිණිස ඉදිරිපත් කිරිම මගින් මහජන වරණය ඇසට නොපෙනෙන ලෙස සීමා කිරීමේ ප්‍රයත්නය මගින්ද, ලාංකීය ජන සමාජය මතින් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ප්‍රතිලාභ උදුරා ගැනීමට කරන ලද බලපෑමෙහි මතුපිටින් හෝ ගැඹුරින් බලා තෙරුම් ගැනීමට ඇති වෙනසක් නොමැති බැවිනි.
එනම් වඩාත් පැහැදිලිව කියන්නේ නම් 1931 දී සර්ව ජන ඡන්ද බලය අයිතියක් ලෙස ජනතාව අතට පත් වනවාට අසතුටු වූ දේශපාලන පරපුරේ මිනිසුන් ගේ තුන්වන හෝ සිවුවන පරම්පරාව "සර්ව ජන ඡන්ද අයිතිය" මිනිසුන් අතට පත් වීමෙන් පසුවත්, තවදුරටත් එය කොල්ල කා ගනිමින් ස්වකීය පංතික විහරණය පිළිබඳ අපේක්ෂාව කඩ නොකරගෙන ඉදිරියට රැගෙන විත් ඇති ආකාරයයි. එනම් එය "ලිහා දැමූ බල්ලන්ට වඳ සැත්කම් කිරීමකි".
මෙම කරුණට සබැඳි තවත් පැතිකඩ බොහොමයක් සාකච්ඡාවට ලක් වීමට ඉතිරිව ඇති බවත් (රස්තියාදුකාරයන් බලයට පත් කිරීමට රස්තියාදුකාරයන්ට බලය ලබාදීමේ කතාන්දරය) අවසානයට පෙර ලියා තබමි.
පසුව ලියමි ; ආඛ්‍යාන ශෛලිය පිළිබඳව විවේචනයන් ඇත්නම් කමන්න.
No comments:
Post a Comment