ඒ 1999 වර්ෂයේ පළමු පාසල් වාරයේ දිනයකි. පහලම මාලයේ ප්රධාන දේශන ශාලාවත්, දෙවන මහලේ ප්රාථමිකයට එනම් පහ (5) හෝ හතර (4) ශ්රෙණියේ පංති කාමරත්, තෙවන මහලේ 6 ශ්රේණියේ පන්තිය පැවති, මහල් තුනකින් යුත් අළුතින් ඉදි කරන අද ගොඩනැගිල්ලේ තුන් වන මහළින් පහළ මාලයට පංතිය ගෙන ඒම (7 ශ්රේණියේ ) ගැන අප බොහෝ සතුටු වූයේ, කාලඡ්ඡේදයට ගුරුවරයකු පැමිනීමට ගතවන මිනිත්තු පහක කාලයෙන් පවා උපරිම ප්රයෝජන ගනිමින්, වන් බවුන්ස් පාරක් හෝ බලු චවු පාරක් ගසා ගුරුතුමිය පංතියට ඇතුළු වෙද්දී දිව විත් පංතියට පැමිණීමට අපට ලැබී තිබූ අවකාශය ගැන තිබූ කැමැත්ත නිසාය.
තුන් වන මහලේ සිටි 6 වන ශ්රේණියේදී අප බොහෝ විට කළේ පන්ය්තිය තුළ දී ගීත ගායනා කිරීමත්, කොරිඩෝවේ වන් බවුන්ස් ගැසීමත්, බොහෝ විට අනෙකුත් පංති වල සගයන් සමග ම්ලේච්ඡ ස්වරූපයකින් රණ්ඩු කිරීමත්ය.
එදින දිවා විවේකයේදී කැන්ටිමෙන් ගත් අයිස් චොක්ස් දවටා තිබූ ඊයම් කොල කිහිපයක් රැගැන ටෙනිස් බෝලයක ප්රමාණයට මදක් සමීප වන්නට තැනූ කඩදාසි බෝලයත් රැගෙන අප සැනෙකින්, පංතිය අසල මිදුලට බැස්සේ අපි නලියන අශාවකින් පෙළුනු බලු චවු / දුටු තැන පාරක් ගැසීම සඳහායි. සමාජ අධ්යන කාලච්ඡේදය ට නියමිත කාලය ඇරඹෙද්දීම අප එසේ එලියට පැන, පංතියේ එක දිගට අසුන් ගෙන සිටීමෙන් එකල අපට ඇතිවන ආතතිය නිවා ගැනීමට වඩාත් නිර්භීත වන්නේ, අපේ සමාජ අධ්යයන ගුරුතුමිය ප්රමාද වී පංතියට පැමිණීම පිළිබඳ ප්රසිද්ධ වාර්ථා වල හිමිකාරිණියක් බව ඉගෙනීමට මෙලෝ උනන්දුවක් නැති සිසුන් ලෙස අත්දැකීමෙන්ම දන්නා නිසාය.
පිහිටීම අතින් ගත් කල විදුහලේ මා විස්තර කරන මේ සිදුවීම වූ ස්ථානය තිබෙන්නේ, පාසලේ ප්රධාන ගේට්ටුවෙන් ඇතුළු වී විදුහල්පති කාර්යාලයට පැමිනීමට ඇති මාවතට වම් පසට වන්නටය. අප එම ක්රීඩාව කල කුඩා බිම් කඩෙහි සී සෝවක්, යකඩ ඔන්චිල්ලාවක් සහ ලමුණ්ට එල්ලීම සහ ,නැගීමට සවි කොට තිබූ තවත් ළමා උද්යාන විනෝද උපකරණ කිහිපයක් ද විය.
ක්රීඩාව ට බට විට අපට ඊට වැඩි යමක් ඇත්තේ නැත. මන්ද එකල අප එක විට හරියට කරන්නේ එක වැඩක් නිසාය. ගුරුවරයකු ආවත් එක විටම ඇස නොගැටෙන තරම් හෝ, අප සමග ක්රීඩාවේම නිරතව සිටි එකෙක් අහම්බෙන් දැක කෑ ගැසුවොත් විනා, අප ට ක්රීඩවෙන් පිට දෙයක් ගැන වගේ වගක් එකළ තිබුනේ නැත.
ගුරුවරුන් පිළිබඳ කෙසේ වෙතත් අපේ විදුහලේ ප්රධාන ආචාර්යවරයාගේ සුළඟ වැදුනත් පංතියට දුවන තරමේ බියක් ඔහු එකල අප හිත් වල වර්ධනය කර තිබුනි. ඔහු අඳින්නේ සුදු අත් දිග කමීසයට සුදු දිග කලිසමය. කොළඹ ආනන්දයේ ටයි පටියට සමාන වර්න සහිත ටයි පටිය මනාව පැළඳගෙන, කොන්ඩය පැත්තට පීරා, උඩු රැවුල මගින් තරමක් නපුරු පෙනුමක් සහජයෙන්ම පිළිබිඹු කරන ස්ථිර සහ තරමක් නපුරු ගනයේ මුහුණුවරකින් හෙබි අපේ විදුහල්පතිතුමා ගැන පාසලේ ලොකු කුඩා හැම සිසුවකුගේම හිතෙහි තිබුනේ බියකි. එම බිය අප විසින් ගුරුවරුන් කෙරෙන් ද යම් යම් අවස්ථා වලදී දක්නා ලදුව අප බියෙන් පෙළන තත්වයක්ය විදුහල්පතිවරයාගේ දැක්ම අපට උදා කර දී තිබුනේ.
එසේ මඩින ලද බියක් තිබියදී පවා අපේ සෙල්ලක්කාර ජීවිත වලට සෙල්ලමට ලැබෙන මොහොතක පවා අත් නොහළ හැකි තරමට පැවති ඇම්ම නිසාම, එලියට බැස බලු චවු ගසමින් සිටින හය හත් දෙනෙකුගෙන් සමන්විත කොලු රෑනේ සිටි අප කිහිප දෙනෙකුටම, විදුහල්පතිවරයා එදින හදිසියේම සිය කාර්යාලයෙන් එලියට පැමිනෙණ ආකාරය මෙන්ම ඔහු නොනැවතී විදුහලේ අප පංති කාමර පැවති ප්රධාන ශාලව දෙසට ඇවිද එන අන්දම දකින්නට, අපේ දෑස් පින් කර තිබූ හෙයින් එකෙණෙහිම අපට දැනුනු අන්තරාව පිළිබඳ බිය නිසාම අපේ කකුල් අපිව ක්ෂණයකින්, පන්ති කාමරය දක්වා දිවැවිත් අදාල අසුන් වල ඉඳ ගැනුනු බව සිහිප්ත් කළ් හැකිය.
අප පන්තියට ඇතුළු වී තත්පර කිහිපයක් යද්දී අපේ පංති කාමරයට ගොඩ වුනු විදුහල්පටිතුමා මුලින්ම ඇසුවේ මේ පීරියඩ් එක කුමක්ද කියයි. ලමුන් ගේ පිළිතුර වූයේ සමාජ අධ්යානය යන්නයි. ටීචර් කවුදැයි ඇසූ විට පිළිතුර වූයේ ……………… ටීච, ප්රින්cඉපල් සර් යන්නයි.
සතියෙන් සතිය පන්තියේ පේලිය මාරු වන ක්රමයක් එකළ පංති භාර ගුරුතුමිය විසින් සකසා තිබුණේ මගේ අවාසනාවකට යැයි මට හැඟුනේ විදුහල්පති තුමා පන්තියට ඇතුළු වී, පළමුවෙනි පේලියේ සිටි මගේ ඉදිරිපසට ආසන්නයෙන්ම සිට ගත් විටය.
ස්ථිර ලෙස සිට ගත් ඔහු පංතිය දෙස විවෘත බැල්මක් හෙළා ප්රශ්න කිරීම ඇරඹුවේ “දැන් කවුද එළියේ සෙල්ලම් කලේ” යනුවෙන් අසමිනි.
පන්තිය මීයට පිම්ඹා වගේය. ඔහු නැවතත් එම ප්රශ්නයම ඇසීය. කවුද දැන් එළියේ ඉඳලා පන්තියට දුවලා ආවේ?
හාවක් හූවක් නැත. මිනිත්තුවක් හෝ දෙකක් ගෙවී යන්න්ට ඇත.
ඔහු කිහිප විටක් එකම ප්රශ්නය අසන විට මට දැනුණු අමුතු හැඟීම බියදැයි නිර්භීතකමදැයි මම තවමත් නොදන්නෙමි. මා නැගී සිටියෙමි.
ආහ්... යනුවෙන් හිස සැලූ ඔහු, දැන් කියනවා බලන්න.., කවුද එළියේ හිටපු අනිත් අය.? යනුවෙන් විමසීය.
මට එක් වරම මනසට නැගුනේ, මා කළ මෝඩ කමක මහත යන්නයි. මා නැගිටීමේ ප්රතිපළය මෙවන් ප්රශ්නයක් වේ යැයි, කිසිවිටෙකත් ඒ මොහොතේ මට නොහැඟුනේ, මගේ අවාසනාව දෙගුණ වී ඇති නිසායයි එවිට මට සිතුණි.
මා කිසිඳු හැල හොල්මනක් නැතිව උන්නෙමි. ප්රින්සිපල් සර්ගේ තීක්ශණ දෑස මගේ දෙසට එක එල්ලේ යොමු වී ඇති සැටි, බිම බලා ගත් වනම සිටිමින් හිස ඔසවන්නට තැත් කරන මට යාන්තමට පෙනුනත් මා එදෙස නොබලාම ඉන්නට වැයම් කරමින්, පැත්තට හැරී තවත් මොහොතකින් වෙන්නට යන විනාශයද සිහිපත් කරගනිමින්, පන්තියේ ගැහැණු ළමුන්ගේ මුහුණු දෙස යාන්තම් බැලුවෙමි. මා සිතුවේ මගේ තක්කඩි පාසල් ජීවිතයෙන් එවකට නිරතුරුව පීඩා විඳින ගැහැණු ළමුන් ශබ්ද නොනැගෙන නමුත් කොක් හඬලා සිනාසෙනු ඇති බවයි. පුදුමයකි. ඔවුන් සියල්ලන්ම ගල් ගැසී මට සිදු වන්නට යන දෙස බලා ඉන්නවා විනා කිසිවෙකු සතුටු වන බවක් නම් නොපෙනුණි. තවත් මදක් බෙල්ල ඔසවා පසුපස හොරෙන් බලන මට අප පන්තියේ උන් එක කෙල්ලක ගේ දෑසින් කඬුළු කඩා හැලෙනු දක්නට ලැබුනි. මට ඒ මොහොතේ ඊට වඩා වැඩි යමක් සිතන්නට නොහැකි විය. නමුත් මා මුව නොසෙල්වූයෙමි. විදුහල්පතිතුමා මගේ පිළිතුර අපේක්ෂාවෙන් හුන් තැනම සිටගෙන සිටියි.
මිනිත්තු කිහිපයක් ගත වන්නට ඇත. බියෙන් නමුත් මා උන්නේ ස්ථාවර සිතකිනි. එනම් විදුහල් පති තුමා මට පහර දුන්නත් මා සමග සෙල්ලම් කල අනිත් උන් කවුදැයි නොකියන්නට ඒ මොහොතේ ශක්තිමත් වූ මගේ පුංචි හිත ගැන මට අද ඇත්තේ සියුම් ආඩම්බර මතකයකි.
අපේ උන් මගේ හදවත හඳුනනවා නොවේදැයි මට සිතෙන්නට ගත්තේ ඊට මොහොතකට පසුවය. ඒ උන්ගේ දිරිය මගේ නිර්භීත කම පරයා ඊළඟ මිනිත්තුවේ නැගී සිටින හැටි මටම දැක ගන්නට පුළුවන් වූ නිසාය.
මා සිටගෙන සිටි පළමු පේලියට පේළි දෙකක් පසුපස පේළියක පුටුවක් හිමින් සීරුවේ පසුපසට කකුලෙන් තල්ලු කරමින් එකෙකු නැගී සිටි බව මට දැනුනි. පසුපස බලන්නට බැරි තරම් තත්වයක සිටි මා හිමින් හිස කරකැවීමි. ඒ ධනුශ්කය.
මට නම් දැන් ගුටි කන්නට ඕනෑ වගේය. ධනුශ්කගේ බියෙන් පෙළන ලද මුහුණේ තිබුනේ, නිර්භීත කමකටත් වඩා, එකට සෙල්ලම් කර එකට ගුටි කන්නට තිබුණු ආසාවයැයි මට හිතුනි.
මෙහෙට එනවා යැයි ධනුශ්කට ඉදිරියට කථා කළ විදුහල්පති තුමා, ගිහින් අරගෙන එනවා හොඳ කෝටුවක්, යනුවෙන් මොර ගැසීය. මට පෙනුනේ ධනුශ්ක විසිවී එළියට ගියා වගේය.
ඉන් පසුව නැගිට්ටේ ටෂූල් ය. කිහිප තැනකින් පුටු පසුපසට යන හඬත් කිහිප දෙනෙකු එක වරම නැගිටින හඬ ත් ඇසුනි. ඒ නඳුන්, දිනුක, මුදිත සහ ඩිලාන් ය. දැන් එළියේ සෙල්ලම් කළ උන් ඔක්කොම නැගිටලාය.
සමාජ අධ්යන ගුරුතුමිය පන්තියට ගොඩ වදින්නේ මේ අතරතුරය. මට දැනුනු හැටියට පීරියඩ් එකෙන් භාගයක් දැනටමත් ඉවරය. බිත්තියේ ඔරලෝසුව දෙස වරක් බැලූ විදුහල්පති තුමා ගුරුතුමිය දෙසට හැරී, මිස් දැන් වෙලාව කීයදැයි ඇසුවේය. එක් වරම කලබලයෙන් මෙන් සිය රූපලාවන්ය උපකරණැ පිරුණු බෑගයට කලබලයෙන් අත පෙවූ ගුරුතුමිය ඇගේ අත් ඔරලෝසුව රැඟෙන වෙලාව බැලුවේ විදුහල්පතිතුමාගේ ප්රශ්නය හමුවේ බිත්තියේ තිබූ ඔරලෝසුව දෙස බලන්නට ඇයට අමතකව ගිය නිසා යැයි මට පසුව වැටහුණි..
විදුහල්පතිතුමාගේ කේන්තිය අපගෙන් ප්රශ්න කිරීම් සහ උත්තර ලබා ගැනීමට ගතවූ කාලය කා දැමීම නිසාත්, ප්රමාද වී පන්තියට පැමිණි ගුරුවරියගේ තුශ්නීම්භූත වූ මුහුණ නිසාත් දෙගුණ වූ බව පෙනුනේ, කෝ අර කෝටුව ගේන්න ගිය එකා තාමත් නැහැ නේදැයි ගුගුළ ඔහු, මා ඉදිරියට පැමිනෙමින් සිය දකුණු අතෙහි වූ මුද්ද ගලවා අනෙක් අතට ගන්නා අයුරු මා දුටු නිසාය.
ඔහුගේ ඉලක්කය මා බව සක්සුදක් සේ පැහැදිළි වීමෙන් තවත් මොහොතකින් විය හැකි නරකම දෙය සිහිපත් කරන්නට මා වෑයම් කළත් ඒ මොහොතේ කිසිවක් සිහිපත් නොවූ බව මට ඉඳුරාම මතකය.
එවකට අපේ විදුහල්පතිතුමා ගරු ගාම්භීර මනුශ්යෙකි. මා මුලින් කියූ පරිදි, ඔහු සිය හුරු අතින් සිසුන්ගේ කම්මුලට පහර දීමෙහි ජනප්රියය. එකළ සිසුන් ගුරුවරු පහර දුන්නාට මානව හිමිකම් කොමිසමට ගොස් නඩු දමනා පුරුද්දක් අද කාලේ වගේ නොතිබූ නිසා, ගුරුවරු සිසුන්ගේ වැරදි වලදී තමන්ගේ ආවේණික පහරදීමේ ක්රම ශිල්ප ප්රයෝජනයට ගත් බව අපට මතකය. සැබැවින්ම ඔහුගේ පහර කැමට වරක් ලක් වූවෙක් පමණි එවන් පහරක ඇති භයානක බව දැන ගනු ඇත්තේ.
ඔහු තරමක් වෙවුලන ස්වරූපයකින් බිම බලාගෙන ගැහෙමින් සිටි මගේ නිකටෙන් අල්ලා මුහුණ ඉහළට එසවීය. එලෙස මුහුන ඉහලට එසවෙන විට මට ඊළඟ මොහොත පිළිබඳ බලාපොරොත්තුවක් ලෙස ඉතිරිව තිබුනේ, ඇයි ධනුශ්ක යා කෝටුව රැඟෙන තවමත් නාවේ යන්න පමණි. ඔහු ඉහළට එසවූ මුහුණට පහරක් ගසත්ම, මට පහර කෑමේ වේදනාව දැනෙන්නට පෙර සිතිවිලි කිහිපයක් එක් වරම නැගුනේය. එකක් විදුහල්පති තුමාගේ අත ඉතා විශාල එකක් බවත් මගේ මුහුණ ඉතාම පොඩි බවත්ය. අනේක මගේ බඩ ට පහළින් යම් කිසි බරක් මගේ චේතනාවක් නොමැතිව නිදහස් වූ වගය. මට තවත් හිතන්නට ඉඩක් නොවීය. ඔහු පහර 4ක් පමණ මගේ වම් කම්මුලටත් 2ක් පමණ දකුණු කම්මුලටත් වන සේ පහර ගසා පළමු වටය නිමා කලේය.
ඉන් පසුව පන්තියේ දොරටුව දෙස හැරී බැලූ ඔහු කෝටුව ගේන්න ගිය එකා තාමත් නැතැයි කියමින්, හැරුනේ විශ්මිත දෑසින් මා පහර කන දෙස නෙත් අයා සිටි ගුරුතුමිය දෙසය. ඔහු ගුරුවරිය ට ඇහෙන්නට කීවේ, “මේ පුංචි එවුන්ට මම ගහන්නේ මට මිස්ට ගහන්නට බැරි නිසා” යනුවෙනි. ඔහුගේ පහර දීම අවසන් නැති බව මට තේරුම් ගියේ නැවතත් මගේ මුහුන ඉහලට ඔසවා පහර 4ක් පමණ එල්ල කරන විටය.
ධනුශ්ක කෝටුව රැඟෙන පන්තියේ දොරකඩ ට ආවේ මේ අතරය. ආ උඹ කෝටුව ගෙනාවාදැයි ඇසූ සර්, මට තවත් පහර 3ක් ගැසා හැරුණේ කෝටුව ගෙනා ධනුශ්ක දෙසටය. පළමු පහරෙන්ම නිදහස් වූ මුත්රා මගේ නිල් කලිසම නොතෙමා පහළට ඇදී ගියේ මා සිටගෙන සිටි නිසා බවත්, මගේ ලඟින්ම එහා පැත්තේ වාඩි වී සිටි හරිඳු ට වත් මට වූ දෙය නොපෙනුනේ නිදහස් වූ මුත්රා කෙලින්ම මගේ වම් කලවා දිගේ බේරී ගොස් මේස් එක තෙමමින් සපත්තුවට බේරී ගිය නිසා බවත් මා තේරුම් ගත්තේ තරමක් වෙලා ගත වීමෙන් පසුවය.
උඹට කෝටුව අරන් එන්නට මේ තරම් වෙලාවක් ගියේ ඇයිදැයි අසමින්, ධනුශ්කට කම්මුල් කසාය ලැබෙන අයුරු බලා සිටිනු හැර කිසිවක් කරන්නට ඉතිරිව නොතිබුණි. මගේ කරුමයකටදෝ පහර දෙද්දී මට පහර සංඛ්යාව ගණන් ගැනුනි. ධනුශ්කට එක දිගට කම්මුල් දෙකටම පහර 11ක් වැදුනු අතර, ඉන් පසුව ධනුශ්ක ගෙනා කෝටුවෙන්ම අත දිග හැර පසුපස ප්රදේශයට දෙනු ලබන පහර දෙකකින් ධනුශ්කගේ ඉනිම නිමා කළ විදුහල්පති තෙමේ, ඉන් පසුව ටෂූල් ට 9 ක් සහ කෝටුවෙන් 3ක් ද, මුදිතට 7ක් සහ කෝටුවෙන් දෙකක් ද නලින්දට දිනුකට සහ ඩිලාන් ට කම්මුල් වලට 6 බැගින් සහ කෝටුව කැඩෙන තුරුද පහර දුන්නේය.
ඒ පහරදීම ට එදා පීරියඩ් එකකුත් විනාඩි 10ක් ම ගත වූ හැටි මට තවමත් සිහිපත් කළැ හැකිය. ගුරුවරිය විදුහල්පති තුමා ගේ පහර දීමෙන් හොඳටම සිත් රිදව ගත් බව ද මට මතකය. මන්ද යත් පහර දෙමින් විදුහල්පති තුමා එදා අපට මෙන්ම, ගුරුතුමියටද දැනෙන පාඩමක් කියා දුන් බැවිනි.
මීට හරියටම වසර 17 කට පෙර සිදුවීමක් වුවත්, පහර කෑමට ලක් වීමට පෙර විදුහල්පති තුමා කියූඋ දෑ හොඳින් මතකයේ සටහන්ව ඇති මුත්, පහර කැමෙන් අනතුරුව විදුහල්පති තුමා ගේ කතා පිළිබඳ මට ඒ හැටි මතකයක් නැත.
එම සිද්ධියට එදා මුහුණ දුන් ගුරුතුමිය එවකට පාසලේ සිටි ජෙෂ්ඨතම ගුරුතුමියකි. පහර දෙන අතර තුර පහර දීම නතර කරන්නට යැයි ඇය කල ඉල්ලීම ගණනකට නොගත් විදුහල්පතිතුමා පහර දී නික්ම යන තෙක් කිසිවක් කියන්නට නොගිය ඇයට, විදුහල්පති තුමා නික්ම ගොස් මොහොතක ගත වෙද්දී පන්තිය ඉදිරිපිට ඇඬුම් ආවා මට මතකය. ඇයගේ කඳුළු පිරි දෙනෙතින් යුතුව, ඇයි ඔය ළමයින්ට මම ටිකක් ප්රමාද වුනාම පන්තියේ ඉඳගෙන වැඩක් කරගන්න බැරි යනුවෙන් බිඳුනු ස්වරයකින් අසනු අපිට මතකය. එසේම ඇය අප ලඟට විත් අපේ ඉදිමුනු කම්මුල් වලට අත තබා බැලුවේ ඉමහත් දුකකින් බව ද මතකය.
පාසල් ඉතිහාසයේම නොදැමුණු කම් වලින් ගහණ ඉතිහාසයක් හිමි වීම මා කුඩා කාලයේ ලද ඉමහත් භාග්යක් යැයි අතීතය මෙනෙහි කරන සමහර මොහොත වල මට හැඟී යන්නේ, පාසල් ජීවිතයෙන් පසුව ඉතාම ශිෂ්ට සම්පන්න ජීවිතයකට හුරු වන්නට ඉබේම මගේ හිත විසින් මා මෙහෙයවූ බව සිහිපත් වන විටය.
ඇත්තෙන්ම මට මගේ කුඩා කාලය පිළිබඳව ඇත්තේ අපරිමිත ප්රීතිදායක මතකයකි. දඩබ්බර කම් නොතිබුනු දවසක් නැති පාසල් ඉතිහාසයක් මට හිමි වීම මට ඉමහත් ආඩම්බරයට හේතුවකි.
මේ පහර කෑම ට මා පාසලේ 7 වසරේදී ලක් වුවත්, ඉන් පසුව කිහිප විටක් විනය සම්බන්ධ කරුණු වලදී ගුරුවරුන්ගෙන් පහර කෑම් වලට ලක් වූ මා පාසල් ජීවිතය මුළුල්ලේම මුහුණ දුන් දරුණුම පහර කෑම ද මෙයමය. අනෙක් අතට පිටස්තරයෙකුගේ පහර දීමකින් මට මුත්රා පිට වූ එකම අවස්ථවද මෙය පමණි.
එදා පාසල් ඇරී පංතියෙන් එළියට පැමිණ් විදුහල් ගේට්ටුව දෙසට ඇවිදගෙන යන මගේ ඉදිමුණු මුහුණ පරීක්ෂා කිරීමට මගේ යහළුවන් මගේ මුහුණට එබුණා මට මතකය. මගේ වම් කම්මුලට වැඩියෙන් පහර වැදී ඇති බව මට තෙරුම් ගියේ, මා ඇවිදිමින් යද්දී පහර කෑමේන් වැඩිපුර ඉදිමුමට ලක්වුනු මගේ මුහුනේ වම් පසට වැඩියෙන් හුළැන් වදින හැටි දැනෙන්නට වූ නිසාය. එතරම් අමාරුවක් තිබුණත් මට ඒ පහර කෑම අද වන විට ඉතිරි කළ කිසිදා අමතක නොවන මතකයක් ඇත. එසේම මේ පහර කෑම කොතරම් අමතක නොවන ඝනයේ එකක් වුවද අපේ පාසල් හැසිරීමේ මදකුදු වෙනසක් වූවා යයි මට මතකයක්ද නැත.
ඒ ළමා කාලයේ හැටිය. අපි ට ළමා කාලයේ ඕනෑවටත් වඩා නලියන දැඟලිල්ලක් තිබූ බව අපි සමග එකට අකුරු කළ අයට මෙ දකිද්දී සිහියට එනු ඇත.
මට මේ සිද්ධිය හා සබැඳිව තවත් මතකයේ ඇති යමක් නම්, මේ පහර දීමේන් සතියක් පමණැ ගත වන තෙක් විදුහල්පති තුමා ගේ හැසිරීමය. පහර කෑමෙන් පසු දිනයේ උදෑසනින් රැස්වීම ට පෙර ඔහු විදුහල්පති කාමරයේ ඉදිරිපස, අප පංතිය තිබුණු ප්රධාන ශාලාවේ කෙළවරට වන්නට පිහිටි කොන්ක්රීට් අත්වැල කෙළවරෙහි සිටගෙන සිට විදුහල් ගේට්ටුවෙන් ඇතුළු වී විශාල කොස් ගස පසු කරමින් බෑගය කරේ දමාගෙන පංතිය දෙසට ඇවිද යන මට අත දිගු කොට කතා කොට ප්රශ්න කිහිපයක් ඇසුවා මතකය.
පුතේ රිදෙනවද ගොඩක්? එච්ච්ර නැහැ සර් කියූ මම සිනා වූවාදැයි මට මතක නැත.
අම්මට කිවුවද? ඔව් සර්.
අම්ම මොනවද කිවුවේ? මුකුත් කිවුවේ නැහැ සර්.
උණු වතුරෙන් තැවුවද? ඔවු සර්.අද යි හෙටයි තව දවස් දෙකක් වත් එහෙම කරන්න, යනුවෙන් ආදරයෙන් මා දෙස බලා කියූ ඔහු මගේ හිසට අත තබා පන්තිය ට යන්නැයි කීවේය.