Friday, March 29, 2013
මිනිසත්කම මරා නොගැනීම සහ මරන්නට ඉඩ නොදීම - හෙවත් මනුස්සකම නැතිවීමේ භාරය.
ලංකාව පුංචිය. කීමට ඉන්දියන් සයුරේ මුතු ඇටයයි. ලෝකයේ අන් කවර තැනක මෙන්ම මේ දිවයිනේත් මිනිසුන් උපදිති. එපමනකටම මියෙති. ඉපදීමෙන් මියැදීමෙන් ඔබ්බට ජන මිනිසුන් සමහරෙක් හෝ බොහොමයක් නොමැරී මැරෙති, මැරි මැරි උපදිති. ඒ ඔවුන්ගේම ඇවතුම් පැවතුම් වල මහිමයෙනි.
"මනුස්සකම" ලංකාවේ ජනප්‍රිය වචනයකි. දුප්පතා ගේ සිට පොහොසතා දක්වාම කිසිඳු පැකිලීමකින් තොරව මනුස්සකම පිළිගනු ලැබෙයි. එය ඔසවා තැබෙයි.
එපමනකින්ම කම්කරුවාගේ සිට ව්‍යාපාරිකයා දක්වාත් එයිනුත් නොනැවතී දේශපාලකයාගේ දොරකඩ දක්වාත් මෙම වචනයේ අරුණැල්ල විහිදී යයි.
ඇගයෙන පමණින්ම එහි නොපැවැත්මත් සෑම දෙසකින්ම අසන්නට ලැබෙයි. නොමිනිස්කම සමාජය විසින් තරයේ ප්‍රතිවිරෝධයන් මගින් මඩිනු ලැබෙයි.
කෙසේ වුවත්, මිනිසත්කමට සමග එකව ගමන් ගන්නා නොමිනිස්කම කොයි කවරෙකුගේ වුවද සමාජ ජීවිතය විනිවිදීමෙන් අපට අත් දකිනු ලැබිය හැකිය.
මන්ද යත් මිනිසුන් සහ මනුස්සකම ප්‍රසිද්ධ වේදිකාවේ ඇගයීමට ලක් කරන මිනිසුන්ම, ස්වකීය ආත්මයන් විසින් ස්වාර්ථය වෙත සිත් මෙහෙයවෙත්දී, නොමිනිස්කමේ ඉහළම අන්තයන් වෙත ස්වකීය කායික මෙන්ම මානසික භාවයන් මෙහෙයවාගන්නට හොර රහසේම නොමිනිසුන් බවට පත්වීම ඕනෑම, මානව නියැදියක් විෂයෙහි වන යථාර්තය නිසාය.
මිනිසුන් අතින් මනුස්සකම නැතිවීමේ භාරයද අවසාන විග්‍රහයේදී පතිත වන්නේ සමාජය මතටය.
මන්ද යත් ඔවුන්ගේ නොමිනිස්කම් සාධාරණීකරනය කරමින්, සමාජ ක්‍රමය තුල උන්නතිය ලඟා කරගැනීමෙහිලා මෙන්ම තනි ඒකකයක් ලෙස ස්වකීය අරගලයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමෙහිදී ඔවුන්ට සමාජය සමග ඔට්ටුවන්නට ඕනෑවට වැඩි මනුස්සකම බාධාවක් ලෙස නිතැතින්ම හඳුනා ගැනෙයි.
එනම් මනුස්සකම අරුතින් සරු වූ පමණින් එය වචනයේ පරිසමාප්ත අරුතින්ම භාවිතයට ගෙන ඒම අයුතුය. එනම් තමා ජීවත් වන ප්‍රදේශයට දිවයිනට හෝ ජනසමූහයට ගැළපෙන මාත්‍රාවකින් "මනුස්සකම" අනුපානය කොට සමාජගත කිරීමට මිනිසුන් ක්‍රියා කළ යුතු බව අත්දැකීම් ලත් සමාජ විශ්ලේශකයන් දක්වයි.
ඉහත අයුරින් කරුණු පෙලගැසෙද්දී, මෙකී විග්‍රහය තුළ අත්වැරදීම වන්නේ මනුස්සකම පැතීමද, නො එසේව සමාජශුද්ධිය පැතීමද, යන්න උභතෝකෝටිකයක්ව නැගෙයි.
Subscribe to:
Posts (Atom)