Wednesday, January 16, 2013

සිතුවිලි පවුරු


කිනිති අග මල් සුපිපි උදයේ...,
ඔබ මෙන්ම සුවඳයි එක සේම,

ලියූ කවි ඉම ඔපවත්ව හිනැහුනු,
සෙනෙහස තරම් සිසිලයි මේ හැන්දෑව...,

දඟකාර පෙති නෙත් කැළුම් තරු,
මවයි ආනන්දය මේ රැයට..,

නුඹේ වත පරදයි සුපිපෙන පියුම්,
පුදසුනකි හදවත් අරා මැවෙනා ආදරය..,

මේ සා විසල් සිතුවිලි පවුරු,
තැනුනු හැටි පුදුමයි සිත ගාව...!



නැවුම් සිත



ගිරි සිරස තුරු මුදුන, 
සිඹින මද නළට වැද


සයුරු ඉම මහි ලකල්, 
පිරුණු තුටු නැවුම් සිත


අරුණු රිවි ගං කොමලි, 
පයෝදර සිඹින ලෙස


ඔබ පතන ලොව වෙතට,
මා රැගෙන යයි නිතින...!



2010.01.30


නුඹ..!



අසිරි සිරි මුදු සුවඳ
විඳිනු රිසි මලකි නුඹ...,


මිහිදුමත් මේඝයත්, 
දුරු හරින රිවිය නුඹ..,


සවන ඇස සිත පිනන, 
රුවැති මුදුමතිය නුඹ..,


සකලවිධ සිතුවමින්,
මූර්තිය මැවුන නුඹ...!


2010.01.16


මුලකුරු නැති ප්‍රේමය...!


"අ" යනු
"ආ" යනු නැති,
ප්‍රේමයක
උරුමකරුවෝ
වෙමු
අප...!



ළබැඳිය...!


හිමිදිරිය...
සන්ධ්‍යාව...
මැදියමෙහි දී පවා...,
නිවාලන
දවාලන
සනහාලන
ළබැඳිය...!

ප්‍රේමයේ.., කාන්තිය...!


මුව අරා ඇඳි නුඹේ.., 
පියුම් වන් මදහාස
හදවතේ විල් දියේ.., 
කිමිදුනේ පතුලටම
අභිසෙසින් ප්‍රේමයේ.., 
කාන්තිය සැඟව ගිය
පළිඟු මිණි කැළුම් දෙයි, 
මියැදුනත් පිදූ පෙම...!




Tuesday, January 8, 2013

තාරුකා...


පෙරදා රැයේ..., 
පෙරඹරින් බිම වැටුනු
තාරුකා 
කැළුම් දෙයි, 
අරුණෝදයේ පවා....!



වෙන්වීමකට කාලය පැමිණ ඇත....!



ඔබට මා හැරදා 
නික්ම යන්නට යැයි 
පවසන්නට මට සිතේ....,


ඔබ මා හැර 
නික්ම යනු ඇතිදැයි 
මා නොදනිමි....


මා හැරපියා යන්නට 
ඔබ සවිමත් වුවහොත්,


ඉනික්බිති, 
දෙපයින් වාරු ගෙන නැගී සිටින්නට
මට හැකි වේදැයි, 
මේ මොහොතේත් සැබැවින්ම මා නොදනිමි...
සත්‍යය කුමක් වුවත්.., 
වෙන්වීමකට කාලය පැමිණ ඇත....!





Friday, January 4, 2013

සිද්ධි


සිද්ධි කොතරම් සංකීර්ණ කරනවද ජීවිතය..,
සිවු වසරකට පෙර,
අප හමුවෙද්දි..,
සිදු වී නොතිබූ සිද්ධි...
නිසා නොවේද සොඳුරු වූයේ හමුවීම,
සිදු වුනා කල් ගත වෙද්දි,
සිද්ධි මග පෙරටම යද්දි..,
සංකීර්ණ වුනා ජීවිතය...
සිද්ධි වල අනුමිත බර වැඩි වෙද්දි...!


මා වෙනුවෙන් සිනාසුනු ඔබ


සිත සිහින සොයද්දී..,
ඇස නින්ද නොපතන හැටි,
හැර යාම නම් කළ හැකි,
නමුදු ප්‍රේමය කැටුව යා නොහැකි..,
මට සිනා නොවුනු,
මා වෙනුවෙන් සිනාසුනු ඔබ..,
මතකයෙන් විතැන් කළ නොහැකි...!


නොහඬනු ප්‍රේමය...!

ඔබ මට අත් විඳින්නට දුන්නේ.., 
මාරාන්තික වේදනාවකි....,

මා දුක් නොවෙමි,
නොහඬන්නෙමි,

නමුදු, ප්‍රේමය දුක් වනු ඇත,
හඬනු ඇත...!



අනුහස


අඩුවක් දැනේ කුළුණක..,
දිලෙන රන් පහනක,
දාගැබක පිරිපුන් පැහැයක..,
කුළුණු ගුණ සිහිපත් කරන,
සැලෙන බෝ පත් සෙවනේ..,
නිසල බව දිවි අරණෙක,
නිලට නිල පිරි වෑ දිය,
ගම් තුලානේ සෙනෙහස,

ධර්මයක් වෙද රජයන,
මිස සොබා දම් අනුහස...!